වසර 28 කට පසු මලින් බර වූ යෝධ උණ (Dendrocalamus giganteus)
Dendrocalamus giganteus Watt. ex. Munro, Trans. Linn. යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හදුන්වන යෝධ උණ ශාකය, විශාල මල් කිනිත්තක්ද සහිතව පේරාදෙණිය උද්භිද උද්‍යානයේදී මේ දින වල දැක ගත හැකි ය. යෝධ උණ, චීනය,නැගෙනහිර හිමාලය,ලාඕසය,මියන්මාරය හි ස්වදේශීය ශාකයක් වන අතර (Powo) 1856 දී ශ්‍රී ලංකාවට හදුන්වා දී ඇත. මෙම ශාක විශේෂයේ මල් හට ගැනීම වසර 28-40 පමණ කාලයකට වරක් සිදු වන බවත්, මල් හට ගැනීමෙන් පසුව එම මල් හට ගන්නා උණ ගස් මිය යෑම සිදු වන බවත්, උද්භිද විද්‍යා පර්යේෂණ වර්තාවන්හි සඳහන් වේ.
1990 දශකයේ, ශ්‍රී ලංකාවේ මහනුවර දිස්ත්‍රික්කයේ ස්ථාන හයක Dendrocalamus giganteus පඳුරු 111ක් යොදා ගනිමින් පර්යේෂණයක් සිදු කර ඇත. එහිදී නිරීක්ෂණයට ලක්කොට ඇති පදුරු 111න් 23 ක, 1990 -1996 කාල වකවානුව තුල විශාල ප්‍රමානයේ මල් කිනිති හට ගෙන ඇති අතර ඉන් පඳුරු දෙකක් පමණක් සම්පූර්ණයෙන්ම මියගොස් ඇති බවත්, අනෙක් පඳුරු නොනැසී පැවති බවත්, “Incidence of Flowering, Death and Phenology of Development in the Giant Bamboo” පර්යේෂණ වර්තාවේ දක්වා ඇත.
පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ මේ වන විට මල් හටගෙන ඇති උණ පඳුරද 1990-1996 කාලය තුල මල් පිපී ඇති අතර, නැවත 2025 වසරේදී විශාල මල් කිනිත්තක් දක්නට ඇත.



